Sunday, December 25, 2016

උත්තේජනය​



සේපාලිකා කුමුදු
මල් පිපුණේ
සඳ එළියේ
සිසිලට මිස​
කණාමැදිරි එළිවල​
පහසට නොවේ..

නෙළුම් මහනෙල්
මල් පිපුණේ
හිරු එළියේ
උණුසුමට මිස​
පහන් එළිවල​
රස්නෙට නොවේ...

ප්‍රේමණීය හැගුම්
මල්ඵල දැරුවේ
අවංක සිත්වල​
තෙතමනයට මිස​
රුදුරු සිත්වල​
පීඩනයට නොවේ....

Thursday, December 22, 2016

යුරේකා !

සොය සොයා
ඇවිද්දෙමි
කොතනක වේදැයි
ආදරයේ
සැබෑ අරුත​....

හමුවුනා එය​
කොන්දේසි විරහිතව​
ආදරය
පුද දෙන තැන​....

මිහිරි වූ
වදනින්
ආදර ඇරයුම්
කරන තැන​......

හේතුවක්
නොමැතිවම​
ආදරේ නාමයෙන්
පරිත්‍යාගයන්
සිදු වන තැන​....

බලාපොරොත්තු
නැතිව වුවද​
රැකවරණ උණුහුම​
සපයන තැන​.....

මෙකී තැන් වල​
සියුම්ව​ පිරික්සා
බලන කළ​
සැබෑ ආදරයත්
එහි උත්තම අරුතත්
මා හට හමුවිය​..

අව්‍යාජ වූ
නැවුම් හැගුමන්
පිඩු කොට​
සැදුම් ලත් එ තැන ;
සසර ගමනේ පැතූ
නිර්වාණ සැපත​
ලංකළ තැන විය​...
එබැවින්
නිවී සැනහුනෙමි !

                         

Tuesday, December 20, 2016

Heart of A Stone

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්....

ප්‍රශ්න වල
රස්නෙ දැනෙන කොට​
සුටුස් ගාලා
දිය වෙලා යන ,
ඕන විදිහකට​
ඕන වෙලාවක​
ලිස්සලා යන
විශ්වාස කරන්න බැරි
වෙඞරු පිඩක්
නෙවෙයි මම​

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...

මගේ හිතට​
කළු ගලක් කියන උඹ​
කළු ගල් ගැන​
දන්නේ මොනවද​?

උඹ​ ගලක්
කියන හිත​
කඳුලූ වැටිලම​
හුගක් රිදිලා
වේදනා නිසාම​
ගල් වෙලා කියලා
දන්නවද ?

මගේ හදවත​
කළු ගලක් කියලා
චෝදනා කරන්න​
කලියෙන්
කළු ගලක් ගැන
ගලේ පැත්තෙන්
මොහොතකට හරි
හිතල තියනවද?

කළු ගලක
සටහන් වෙන ප්‍රේමය
ස්ථීර බව
උඹ​ දන්නවද?

උඹ​ අඞපු වෙලා වලදී
උඹ​ගේ කඳුලින්
හේදී හේදී
මේ කළු ගල​
ඉරි තලපු හැටි
දන්නවද​?

උඹ​ හිනා වුණු
වෙලාවල් වල​
ඒ හිනාවේ
දැවටි දැවටී
මේ කළු ගල​
සුමට වුණු වග​
දන්නවද​?

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...


අඩු තරමින්
පුපුරවලා
අඩිතාලමක් වත්
දා ගන්නට​,
එහෙමවත් උඹ​ට​
අත්වැලක් වෙන්නට
මට පුළුවන් නම්
ඔව් !
උඹ හරි....
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
ඒත් මම​
ආදරණීය කළු ගලක්....

                                                   

Saturday, December 3, 2016

පව් දෙයියනේ !

කවුළුව
බලා හිඳී
විවරව​...
පායන තුරු
සුපුන් සඳ​
නුබ ගැබ​.....


එහෙත්
වෙනදාට
පායන සඳට
අද දින
කරුමෙට වගේ
හදිසි නිවාඩුව​....


දින අද​
අමාවක
කියා යන්නට​
හඳට ඊයේ
අමතක​
වී ඇත....


ඒ නිසා
කවුළුව​
අදත්
මග බලාන​
ඉන්න හැටි...
රෑ ජාමේ
තනියම​...


හේතුවක්
නැතිවම
වෙනදා 
පරිදිම​
සදාදරණීය සඳ​​
පායන තුරුම....​


පව් දෙයියනේ ! ​
පණ ඇද ඇද
හුස්ම හොයන
ආදරේට​
බලාන ඉන්න​
හේතු
ඕනමද​???