ලොක්කගේ පැල්පත
Thursday, October 20, 2016
මකනයක කව
ඔබ ලියූ ඒ
සන්තාපයේ අකුරු පෙළ
මකා දැමුවා මං
දිරිදෙමින් ඔබ හට
ලියන්නට අලුතින්
ඔබගේම තෙලිතුඩෙන්
ස්නේහයේ පද වැල ...
ලියා අවසන කළුව
ක්‍ෂය ව ගෙවී
පැත්තකට විසිව යන
මකන කැබැල්ලක් වුව මා
කැපවුනේ වැයවුනේ
ඔබ නමින් වන නිසා
නැත කිසි දිනක දුක මට....
Thursday, September 29, 2016
දේවකාරිය
කීරි ගැහෙන හීතලේ
ඔයාවත් තුරුල් කරන්
උණුහුම් වෙන්න
මං ආසයි...
මේ හිරිකඩ වැස්සෙ
ගුලි වෙලා කිටිකිටියට
හීන දකින්නත්
මං ආසයි...
ඒ ආසාවල්
මලවන් කන්නද?
!@#*#$$^&*@!
සිකියුරිටි
නිසා මං
බම්බුව !
අදත් රෑ
ඩියුටි.....
So
හිත සැහැල්ලුවෙන්
මේ රැය ගෙවන්න
හැමදේටම වඩා
මං ආසයි...
ඒ හන්දා
මගෙ
අමල්බිසවුනි ,
keep
the door
closed and
පරිස්සමින් ඉඳපන්...
Thursday, September 22, 2016
රැවටීම
සොඳුර !
මා ප්‍රිය මැස්සිය !
එන්න..
අවුදින්
පැටලෙන්න...
මේ
මා ස්නේහය
කැටිකොට,
ආදරය
මුසු කොට,
පාරිශුද්ධ
ඔබ වෙනුවෙන්ම
වියන ලද්දාවූ
ප්‍රේමයේ
උත්තුංග
මායා දැලයි...
ඒ නිසාවෙන්
එන්න....
Tuesday, September 13, 2016
පැන්සල් කොටේ
අනිත් එවුන්ව
උගතුන් කරන්න
කඹුරලා කඹුරලා
ගෙවිච්ච මට
අන්තිමේදී
ඉතුරු උනේ
උන් මහත්තුරු වෙන්න
තටමපු තැටමිල්ලෙදි
ඇඟිලි අස්සෙ
හිර කොරගෙන
විකපු මගේ
පස්ස ගාතෙ
ශේෂ උනු
දත් පාරවල් විතරයි...
Monday, September 12, 2016
මට්ටුව
කියාගන්න බැරි
ගොඩක් දේවල්
මලු බැඳන්
ඉන්න හැටි
මගෙ හිත...
ඒ එක එක
ලිහා බලන්න
අත තිබ්බත්
පපුවට...
හැමදාම දැණුනු
ලබ්ඩබ් හඬ
විතරමයි
ඇහෙන්නේ....
දැනෙන්නේ.....
මේක නම්
වෙන්න බෑ.....
විශ්වාසත් නෑ...
හිටු ටිකක් මං
රැගෙන එමි
හොඳ කැපෙන පිහියක්...
රැගෙන විත්
හද පලමි
සැක දුරු කරනු වස්...
හිත !
ඔන්න උඹ මාට්ටු
එතකොට මම??
Thursday, September 1, 2016
තමන්ගෙ මැට්ටම්
කවුරු කොහොම කිව්වත්
උඹ හිනාවෙන දේටම
මටත් හිනා යන නිසා ,
උඹ අඬන කොට
මටත් ඇඬෙන නිසා,
උඹෙයි මගෙයි වෙනසක්
මට දැනිලත් නෑ....
මම දන්නෙත් නෑ...
කොටින්ම කිව්වොත්
අදාළම නෑ.....
Monday, August 29, 2016
ඒකෙත් හැටි
පාළුම පාළු කතරක
විඩාබරව
දිය බිඳකුදු නැතිව
ඔහු ගමනේ ය...
එවිට පෑයු
ගණදුරු
මේඝ වලාව
අන් කිසිවෙකු නොව;
නුඹ ය...
ගුගුරුවා අහස
වැසි වස්වන බව
හුදෙක් මවා පෑවේ
රැවටුවේ
අන් කිසිවෙකු නොව;
නුඹම ය...
පිපාසයෙන්
පණ අදින ඔහු
නොතකා , නපුරුව
දිය පොදක් නොදී
අකුණු ගසමින්
මැකී ගියෙත්
අන් කිසිවෙකු නොව;
නුඹම යි...
එහෙව් නුඹවම
ඔහූ පැතූ අරුමය
පුදුමයි..!
Tuesday, August 23, 2016
එන්නෙ නෑමයි
හිරු නොමැතිව
මලක් නොපිපේ
ලොවම දන්නා
සත්‍යයකි එය..
එසේ වූවත්
සුළං රැල්ලක්
ඇවිදින් ඇහුවොත්
"එනවද යන්න?"
ලොවේ සුපිපුණ
මල් දරන්නේ
නොයෙක් විදිහේ
අදහස් ය...
බොහෝ මල්
කියන්නාහු ය
"යමු යමු..අනේ යමු"
ඒ අතරිනුත්
එක් මලක් හෝ
වෙයි මෙසේ
පිළිතුරු දරන..
"හිරුට පිටුපාන
කිසිදු ගමනකට
එන්නෙ නෑ මං
එන්නෙ නෑමයි"
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)