Thursday, October 20, 2016

මකනයක කව

ඔබ ලියූ ඒ
සන්තාපයේ අකුරු පෙළ
මකා දැමුවා මං
දිරිදෙමින් ඔබ හට​
ලියන්නට අලුතින්
ඔබගේම තෙලිතුඩෙන්
ස්නේහයේ පද වැල ...

ලියා අවසන කළුව
ක්‍ෂය ව ගෙවී
පැත්තකට විසිව යන​
මකන කැබැල්ලක් වුව මා
කැපවුනේ වැයවුනේ
ඔබ නමින් වන නිසා
නැත කිසි දිනක දුක මට​....

Thursday, September 29, 2016

දේවකාරිය

කීරි ගැහෙන හීතලේ
ඔයාවත් තුරුල් කරන්
උණුහුම් වෙන්න
මං ආසයි...

මේ හිරිකඩ වැස්සෙ
ගුලි වෙලා කිටිකිටියට​
හීන දකින්න​ත්
මං ආසයි...

ඒ ආසාවල්
මලවන් කන්නද​?
!@#*#$$^&*@!

සිකියුරිටි 
නිසා මං
බම්බුව​ !
අදත් රෑ
ඩියුටි.....

So
හිත සැහැල්ලුවෙන්
මේ රැය ගෙවන්න
හැමදේටම වඩා
මං ආසයි...

ඒ හන්දා
මගෙ 
අමල්බිසවුනි ,

keep
the door
closed and
පරිස්සමින් ඉඳපන්...


                             

Thursday, September 22, 2016

රැවටීම​



සොඳුර !

මා ප්‍රිය මැස්සිය !​
එන්න​..
අවුදින්
පැටලෙන්න​...

මේ
මා ස්නේහය
කැටිකොට​,
ආදරය
මුසු කොට,​
පාරිශුද්ධ
ඔබ වෙනුවෙන්ම
වියන ලද්දාවූ
ප්‍රේමයේ
උත්තුංග
මායා දැලයි...

ඒ නිසාවෙන්
එන්න​....

Tuesday, September 13, 2016

පැන්සල් කොටේ

අනිත් එවුන්ව​
උගතුන් කරන්න
කඹුරලා කඹුරලා
ගෙවිච්ච මට​
අන්තිමේදී
ඉතුරු උනේ

උන් මහත්තුරු වෙන්න​
තටමපු තැටමිල්ලෙදි
ඇඟිලි අස්සෙ
හිර කොරගෙන​
විකපු මගේ
පස්ස ගාතෙ
ශේෂ උනු
දත් පාරවල් විතරයි...


Monday, September 12, 2016

මට්ටුව​

කියාගන්න බැරි
ගොඩක් දේවල්
මලු බැඳන්
ඉන්න හැටි
මගෙ හිත​...

ඒ එක එක​
ලිහා බලන්න​
අත තිබ්බත්
පපුවට​...

හැමදාම දැණුනු
ලබ්ඩබ් හ​ඬ
විතරමයි
ඇහෙන්නේ....
දැනෙන්නේ.....

මේක නම්
වෙන්න බෑ.....
විශ්වාසත් නෑ...

හිටු ටිකක් මං
රැගෙන එමි
හොඳ කැපෙන පිහියක්...

රැගෙන විත්
හද​ පලමි
සැක දුරු කරනු වස්...

හිත !
ඔන්න උඹ මාට්ටු
එතකොට මම​??
                               

Thursday, September 1, 2016

තමන්ගෙ මැට්ටම්



කවුරු කොහොම කිව්වත්
උඹ හිනාවෙන දේටම​
මටත් හිනා යන නිසා ,
උඹ අඬන කොට​
මටත් ඇඬෙන නිසා,
උඹෙයි මගෙයි වෙනසක්
මට දැනිලත් නෑ....
මම දන්නෙත් නෑ...
කොටින්ම කිව්වොත්
අදාළම නෑ.....                                                                                                                                                                                            

Monday, August 29, 2016

ඒකෙත් හැටි


පාළුම පාළු කතරක​
විඩාබරව​
දිය බිඳකුදු නැතිව​
ඔහු ගමනේ ය​...

එවිට පෑයු
ගණදුරු
මේඝ වලාව​
අන් කිසිවෙකු නොව​;
නුඹ ය​...

ගුගුරුවා අහස​
වැසි වස්වන බව​
හුදෙක් මවා පෑවේ
රැවටුවේ
අන් කිසිවෙකු නොව​;
නුඹම ය​...

පිපාසයෙන්
පණ අදින ඔහු
නොතකා , නපුරුව​
දිය පොදක් නොදී
අකුණු ගසමින්
මැකී ගියෙත්
අන් කිසිවෙකු නොව​;
නුඹම යි...

එහෙව් නුඹවම​
ඔහූ පැතූ අරුමය​
පුදුමයි..!                      

Tuesday, August 23, 2016

එන්නෙ නෑමයි

හිරු නොමැතිව​
මලක් නොපිපේ
ලොවම දන්නා
සත්‍යයකි එය​..

එසේ වූවත්
සුළං රැල්ලක්
ඇවිදින් ඇහුවොත්
"එනවද යන්න​?"

ලොවේ සුපිපුණ​
මල් දරන්නේ
නොයෙක් විදිහේ
අදහස් ය​...

බොහෝ මල්
කියන්නාහු ය​
"යමු යමු..අනේ යමු"

ඒ අතරිනුත්
එක් මලක් හෝ
වෙයි මෙසේ
පිළිතුරු දරන​..

"හිරුට පිටුපාන​
කිසිදු ගමනකට​
එන්නෙ නෑ මං
එන්නෙ නෑමයි"