Friday, November 11, 2016

🌊 පාපොච්චාරණය​ 🌊

මාව බලන්න​
හුග දවසකින්
ඔයා ආවෙ නැති නිසා
මගෙ හිත රිදුණා
සෑහෙන්න රිදුණා
මහා ගොඩක් රිදුණා...

කේන්තියයි දුකයි
හිත අස්සෙ හිර කරන්
ඉවසලා ඉවසලා
බලන් ඉන්න​ බැරිම තැන​
මං ඔයාව හොයාගෙන​
ගෙදරටම ආවා....

තිබ්බ කේන්තිය
තුරන් වෙනකන්ම​
ඔයාගේ ගේ පොඩ්ඩෙ
බඩු මුට්ටු සේරම​
පොඩි කළා කියලා
යාන්තමින් වගේ
මතකයි මට....

එදා එච්චර​
කේන්ති ගියෙ මට​
හිත පුරාම​
ඇඳිලා තිබ්බ​
ඔය රූපේ
හුග දවසකින්
නොදුටු නිසයි
සත්තයි......

ඒත් අන්තිමට​
කේන්ති ගත්තා
වැඩියි කියලා
තේරුම් යනකොට​
මං හොඳටෝම
පරක්කු වෙලා..
ඔයාව මගෙ
කේන්තියටම​
ගහගෙන ගිහින්....

මං ඔයාගෙම​
සුනාමි

                                                         
                                                                                                                                                               

Monday, October 31, 2016

නෂ්ටාවශේෂ​

ජීවිතේ පුරා
මිනිස්සු ඇහිඳපු
මතක පොත් වල
හැම පිටුවම ;
ඉස්පිලි
පාපිලි
කොමාවන් ගෙන්
අපූරුවට
හැඩ වෙලා...

ඒත්
ඉවසීමෙන්
සංයමයෙන්
බලද්දී පෙරලලා 
අන්තිමට​
ඒ හැම මතකයෙම​
පුදුමය කිච වෙලා
විස්මයාර්ථය​
ඉතුරු වෙලා...

                         

Wednesday, October 26, 2016

වැව The බුවා

පෙර දිනේ
වැව්  දියේ
නෙළුම් පොට්ටු
පිපෙනකන් රැක ඉඳන්..
පිපුණු නෙළුම් මල්
උදුරගෙන ගිය හැටි
Pool වල​
දිය ජබුං ගසන උන්.

ගිය උන්ම ;
අද ඇවිත්
විරිත්තා වැව 
දෙස බලන්...
සිනාසී ඔලොක්කුවට
බලියාන උන්ගෙ කට​
දමයි කෝචොක්
"මේක නම් මහ මඩ වලක්" 

දිය ජබුං ගසමින්
Pool වල නෑවාට​,
වැවේ පිපි ඒ නෙළුම්
උදුරාන ඩැහැගෙන ගියාට,

නෙළුම පිපුණෙ හැමදාම
මඩ ජලය මත මිසක
Pool වල නොවන වග​​
උන් නොදනි එක් බිඳුවක්
ඒ නිසයි මෙතරම් බිරුමක්....

වැව දනී එය මැනවින්
එනිසයි නිහඬ තවමත්......


Sunday, October 23, 2016

අකලට පිපි මල​





හිත කැකෑරෙන ස්නේහයත් ,
ගත රිදුම් දෙන රුහිරයත් ,
උහුලාගෙන මහා ගොන්නක්....

දෛවයේ සරදමට​
නැහැවෙමින් කඳුලින්
පණ ඇදපු
නැවුම් අරුමැති
අරලිය අත්තක් ;

ප්‍රසූත කළා
කාටත් රහසින්
මියෙන්නට මත්තෙන්
ඉවසිලිවන්ත පැතුමින්
අසම්මතයේ
සොඳුරු හුරු බුහුටි
මල් කිනිත්තක්.......

Thursday, October 20, 2016

මකනයක කව

ඔබ ලියූ ඒ
සන්තාපයේ අකුරු පෙළ
මකා දැමුවා මං
දිරිදෙමින් ඔබ හට​
ලියන්නට අලුතින්
ඔබගේම තෙලිතුඩෙන්
ස්නේහයේ පද වැල ...

ලියා අවසන කළුව
ක්‍ෂය ව ගෙවී
පැත්තකට විසිව යන​
මකන කැබැල්ලක් වුව මා
කැපවුනේ වැයවුනේ
ඔබ නමින් වන නිසා
නැත කිසි දිනක දුක මට​....

Thursday, September 29, 2016

දේවකාරිය

කීරි ගැහෙන හීතලේ
ඔයාවත් තුරුල් කරන්
උණුහුම් වෙන්න
මං ආසයි...

මේ හිරිකඩ වැස්සෙ
ගුලි වෙලා කිටිකිටියට​
හීන දකින්න​ත්
මං ආසයි...

ඒ ආසාවල්
මලවන් කන්නද​?
!@#*#$$^&*@!

සිකියුරිටි 
නිසා මං
බම්බුව​ !
අදත් රෑ
ඩියුටි.....

So
හිත සැහැල්ලුවෙන්
මේ රැය ගෙවන්න
හැමදේටම වඩා
මං ආසයි...

ඒ හන්දා
මගෙ 
අමල්බිසවුනි ,

keep
the door
closed and
පරිස්සමින් ඉඳපන්...


                             

Thursday, September 22, 2016

රැවටීම​



සොඳුර !

මා ප්‍රිය මැස්සිය !​
එන්න​..
අවුදින්
පැටලෙන්න​...

මේ
මා ස්නේහය
කැටිකොට​,
ආදරය
මුසු කොට,​
පාරිශුද්ධ
ඔබ වෙනුවෙන්ම
වියන ලද්දාවූ
ප්‍රේමයේ
උත්තුංග
මායා දැලයි...

ඒ නිසාවෙන්
එන්න​....

Tuesday, September 13, 2016

පැන්සල් කොටේ

අනිත් එවුන්ව​
උගතුන් කරන්න
කඹුරලා කඹුරලා
ගෙවිච්ච මට​
අන්තිමේදී
ඉතුරු උනේ

උන් මහත්තුරු වෙන්න​
තටමපු තැටමිල්ලෙදි
ඇඟිලි අස්සෙ
හිර කොරගෙන​
විකපු මගේ
පස්ස ගාතෙ
ශේෂ උනු
දත් පාරවල් විතරයි...