Tuesday, December 20, 2016

Heart of A Stone

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්....

ප්‍රශ්න වල
රස්නෙ දැනෙන කොට​
සුටුස් ගාලා
දිය වෙලා යන ,
ඕන විදිහකට​
ඕන වෙලාවක​
ලිස්සලා යන
විශ්වාස කරන්න බැරි
වෙඞරු පිඩක්
නෙවෙයි මම​

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...

මගේ හිතට​
කළු ගලක් කියන උඹ​
කළු ගල් ගැන​
දන්නේ මොනවද​?

උඹ​ ගලක්
කියන හිත​
කඳුලූ වැටිලම​
හුගක් රිදිලා
වේදනා නිසාම​
ගල් වෙලා කියලා
දන්නවද ?

මගේ හදවත​
කළු ගලක් කියලා
චෝදනා කරන්න​
කලියෙන්
කළු ගලක් ගැන
ගලේ පැත්තෙන්
මොහොතකට හරි
හිතල තියනවද?

කළු ගලක
සටහන් වෙන ප්‍රේමය
ස්ථීර බව
උඹ​ දන්නවද?

උඹ​ අඞපු වෙලා වලදී
උඹ​ගේ කඳුලින්
හේදී හේදී
මේ කළු ගල​
ඉරි තලපු හැටි
දන්නවද​?

උඹ​ හිනා වුණු
වෙලාවල් වල​
ඒ හිනාවේ
දැවටි දැවටී
මේ කළු ගල​
සුමට වුණු වග​
දන්නවද​?

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...


අඩු තරමින්
පුපුරවලා
අඩිතාලමක් වත්
දා ගන්නට​,
එහෙමවත් උඹ​ට​
අත්වැලක් වෙන්නට
මට පුළුවන් නම්
ඔව් !
උඹ හරි....
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
ඒත් මම​
ආදරණීය කළු ගලක්....

                                                   

Saturday, December 3, 2016

පව් දෙයියනේ !

කවුළුව
බලා හිඳී
විවරව​...
පායන තුරු
සුපුන් සඳ​
නුබ ගැබ​.....


එහෙත්
වෙනදාට
පායන සඳට
අද දින
කරුමෙට වගේ
හදිසි නිවාඩුව​....


දින අද​
අමාවක
කියා යන්නට​
හඳට ඊයේ
අමතක​
වී ඇත....


ඒ නිසා
කවුළුව​
අදත්
මග බලාන​
ඉන්න හැටි...
රෑ ජාමේ
තනියම​...


හේතුවක්
නැතිවම
වෙනදා 
පරිදිම​
සදාදරණීය සඳ​​
පායන තුරුම....​


පව් දෙයියනේ ! ​
පණ ඇද ඇද
හුස්ම හොයන
ආදරේට​
බලාන ඉන්න​
හේතු
ඕනමද​???
                          

Friday, November 11, 2016

🌊 පාපොච්චාරණය​ 🌊

මාව බලන්න​
හුග දවසකින්
ඔයා ආවෙ නැති නිසා
මගෙ හිත රිදුණා
සෑහෙන්න රිදුණා
මහා ගොඩක් රිදුණා...

කේන්තියයි දුකයි
හිත අස්සෙ හිර කරන්
ඉවසලා ඉවසලා
බලන් ඉන්න​ බැරිම තැන​
මං ඔයාව හොයාගෙන​
ගෙදරටම ආවා....

තිබ්බ කේන්තිය
තුරන් වෙනකන්ම​
ඔයාගේ ගේ පොඩ්ඩෙ
බඩු මුට්ටු සේරම​
පොඩි කළා කියලා
යාන්තමින් වගේ
මතකයි මට....

එදා එච්චර​
කේන්ති ගියෙ මට​
හිත පුරාම​
ඇඳිලා තිබ්බ​
ඔය රූපේ
හුග දවසකින්
නොදුටු නිසයි
සත්තයි......

ඒත් අන්තිමට​
කේන්ති ගත්තා
වැඩියි කියලා
තේරුම් යනකොට​
මං හොඳටෝම
පරක්කු වෙලා..
ඔයාව මගෙ
කේන්තියටම​
ගහගෙන ගිහින්....

මං ඔයාගෙම​
සුනාමි

                                                         
                                                                                                                                                               

Monday, October 31, 2016

නෂ්ටාවශේෂ​

ජීවිතේ පුරා
මිනිස්සු ඇහිඳපු
මතක පොත් වල
හැම පිටුවම ;
ඉස්පිලි
පාපිලි
කොමාවන් ගෙන්
අපූරුවට
හැඩ වෙලා...

ඒත්
ඉවසීමෙන්
සංයමයෙන්
බලද්දී පෙරලලා 
අන්තිමට​
ඒ හැම මතකයෙම​
පුදුමය කිච වෙලා
විස්මයාර්ථය​
ඉතුරු වෙලා...

                         

Wednesday, October 26, 2016

වැව The බුවා

පෙර දිනේ
වැව්  දියේ
නෙළුම් පොට්ටු
පිපෙනකන් රැක ඉඳන්..
පිපුණු නෙළුම් මල්
උදුරගෙන ගිය හැටි
Pool වල​
දිය ජබුං ගසන උන්.

ගිය උන්ම ;
අද ඇවිත්
විරිත්තා වැව 
දෙස බලන්...
සිනාසී ඔලොක්කුවට
බලියාන උන්ගෙ කට​
දමයි කෝචොක්
"මේක නම් මහ මඩ වලක්" 

දිය ජබුං ගසමින්
Pool වල නෑවාට​,
වැවේ පිපි ඒ නෙළුම්
උදුරාන ඩැහැගෙන ගියාට,

නෙළුම පිපුණෙ හැමදාම
මඩ ජලය මත මිසක
Pool වල නොවන වග​​
උන් නොදනි එක් බිඳුවක්
ඒ නිසයි මෙතරම් බිරුමක්....

වැව දනී එය මැනවින්
එනිසයි නිහඬ තවමත්......


Sunday, October 23, 2016

අකලට පිපි මල​





හිත කැකෑරෙන ස්නේහයත් ,
ගත රිදුම් දෙන රුහිරයත් ,
උහුලාගෙන මහා ගොන්නක්....

දෛවයේ සරදමට​
නැහැවෙමින් කඳුලින්
පණ ඇදපු
නැවුම් අරුමැති
අරලිය අත්තක් ;

ප්‍රසූත කළා
කාටත් රහසින්
මියෙන්නට මත්තෙන්
ඉවසිලිවන්ත පැතුමින්
අසම්මතයේ
සොඳුරු හුරු බුහුටි
මල් කිනිත්තක්.......

Thursday, October 20, 2016

මකනයක කව

ඔබ ලියූ ඒ
සන්තාපයේ අකුරු පෙළ
මකා දැමුවා මං
දිරිදෙමින් ඔබ හට​
ලියන්නට අලුතින්
ඔබගේම තෙලිතුඩෙන්
ස්නේහයේ පද වැල ...

ලියා අවසන කළුව
ක්‍ෂය ව ගෙවී
පැත්තකට විසිව යන​
මකන කැබැල්ලක් වුව මා
කැපවුනේ වැයවුනේ
ඔබ නමින් වන නිසා
නැත කිසි දිනක දුක මට​....

Thursday, September 29, 2016

දේවකාරිය

කීරි ගැහෙන හීතලේ
ඔයාවත් තුරුල් කරන්
උණුහුම් වෙන්න
මං ආසයි...

මේ හිරිකඩ වැස්සෙ
ගුලි වෙලා කිටිකිටියට​
හීන දකින්න​ත්
මං ආසයි...

ඒ ආසාවල්
මලවන් කන්නද​?
!@#*#$$^&*@!

සිකියුරිටි 
නිසා මං
බම්බුව​ !
අදත් රෑ
ඩියුටි.....

So
හිත සැහැල්ලුවෙන්
මේ රැය ගෙවන්න
හැමදේටම වඩා
මං ආසයි...

ඒ හන්දා
මගෙ 
අමල්බිසවුනි ,

keep
the door
closed and
පරිස්සමින් ඉඳපන්...