Sunday, December 25, 2016

උත්තේජනය​



සේපාලිකා කුමුදු
මල් පිපුණේ
සඳ එළියේ
සිසිලට මිස​
කණාමැදිරි එළිවල​
පහසට නොවේ..

නෙළුම් මහනෙල්
මල් පිපුණේ
හිරු එළියේ
උණුසුමට මිස​
පහන් එළිවල​
රස්නෙට නොවේ...

ප්‍රේමණීය හැගුම්
මල්ඵල දැරුවේ
අවංක සිත්වල​
තෙතමනයට මිස​
රුදුරු සිත්වල​
පීඩනයට නොවේ....

Thursday, December 22, 2016

යුරේකා !

සොය සොයා
ඇවිද්දෙමි
කොතනක වේදැයි
ආදරයේ
සැබෑ අරුත​....

හමුවුනා එය​
කොන්දේසි විරහිතව​
ආදරය
පුද දෙන තැන​....

මිහිරි වූ
වදනින්
ආදර ඇරයුම්
කරන තැන​......

හේතුවක්
නොමැතිවම​
ආදරේ නාමයෙන්
පරිත්‍යාගයන්
සිදු වන තැන​....

බලාපොරොත්තු
නැතිව වුවද​
රැකවරණ උණුහුම​
සපයන තැන​.....

මෙකී තැන් වල​
සියුම්ව​ පිරික්සා
බලන කළ​
සැබෑ ආදරයත්
එහි උත්තම අරුතත්
මා හට හමුවිය​..

අව්‍යාජ වූ
නැවුම් හැගුමන්
පිඩු කොට​
සැදුම් ලත් එ තැන ;
සසර ගමනේ පැතූ
නිර්වාණ සැපත​
ලංකළ තැන විය​...
එබැවින්
නිවී සැනහුනෙමි !

                         

Tuesday, December 20, 2016

Heart of A Stone

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්....

ප්‍රශ්න වල
රස්නෙ දැනෙන කොට​
සුටුස් ගාලා
දිය වෙලා යන ,
ඕන විදිහකට​
ඕන වෙලාවක​
ලිස්සලා යන
විශ්වාස කරන්න බැරි
වෙඞරු පිඩක්
නෙවෙයි මම​

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...

මගේ හිතට​
කළු ගලක් කියන උඹ​
කළු ගල් ගැන​
දන්නේ මොනවද​?

උඹ​ ගලක්
කියන හිත​
කඳුලූ වැටිලම​
හුගක් රිදිලා
වේදනා නිසාම​
ගල් වෙලා කියලා
දන්නවද ?

මගේ හදවත​
කළු ගලක් කියලා
චෝදනා කරන්න​
කලියෙන්
කළු ගලක් ගැන
ගලේ පැත්තෙන්
මොහොතකට හරි
හිතල තියනවද?

කළු ගලක
සටහන් වෙන ප්‍රේමය
ස්ථීර බව
උඹ​ දන්නවද?

උඹ​ අඞපු වෙලා වලදී
උඹ​ගේ කඳුලින්
හේදී හේදී
මේ කළු ගල​
ඉරි තලපු හැටි
දන්නවද​?

උඹ​ හිනා වුණු
වෙලාවල් වල​
ඒ හිනාවේ
දැවටි දැවටී
මේ කළු ගල​
සුමට වුණු වග​
දන්නවද​?

ඔව් !
ඇත්ත !
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...


අඩු තරමින්
පුපුරවලා
අඩිතාලමක් වත්
දා ගන්නට​,
එහෙමවත් උඹ​ට​
අත්වැලක් වෙන්නට
මට පුළුවන් නම්
ඔව් !
උඹ හරි....
මට තියෙන්නෙ ගල් හිතක්...
මගේ හිත මහ කළු ගලක්...
ඒත් මම​
ආදරණීය කළු ගලක්....

                                                   

Saturday, December 3, 2016

පව් දෙයියනේ !

කවුළුව
බලා හිඳී
විවරව​...
පායන තුරු
සුපුන් සඳ​
නුබ ගැබ​.....


එහෙත්
වෙනදාට
පායන සඳට
අද දින
කරුමෙට වගේ
හදිසි නිවාඩුව​....


දින අද​
අමාවක
කියා යන්නට​
හඳට ඊයේ
අමතක​
වී ඇත....


ඒ නිසා
කවුළුව​
අදත්
මග බලාන​
ඉන්න හැටි...
රෑ ජාමේ
තනියම​...


හේතුවක්
නැතිවම
වෙනදා 
පරිදිම​
සදාදරණීය සඳ​​
පායන තුරුම....​


පව් දෙයියනේ ! ​
පණ ඇද ඇද
හුස්ම හොයන
ආදරේට​
බලාන ඉන්න​
හේතු
ඕනමද​???
                          

Friday, November 11, 2016

🌊 පාපොච්චාරණය​ 🌊

මාව බලන්න​
හුග දවසකින්
ඔයා ආවෙ නැති නිසා
මගෙ හිත රිදුණා
සෑහෙන්න රිදුණා
මහා ගොඩක් රිදුණා...

කේන්තියයි දුකයි
හිත අස්සෙ හිර කරන්
ඉවසලා ඉවසලා
බලන් ඉන්න​ බැරිම තැන​
මං ඔයාව හොයාගෙන​
ගෙදරටම ආවා....

තිබ්බ කේන්තිය
තුරන් වෙනකන්ම​
ඔයාගේ ගේ පොඩ්ඩෙ
බඩු මුට්ටු සේරම​
පොඩි කළා කියලා
යාන්තමින් වගේ
මතකයි මට....

එදා එච්චර​
කේන්ති ගියෙ මට​
හිත පුරාම​
ඇඳිලා තිබ්බ​
ඔය රූපේ
හුග දවසකින්
නොදුටු නිසයි
සත්තයි......

ඒත් අන්තිමට​
කේන්ති ගත්තා
වැඩියි කියලා
තේරුම් යනකොට​
මං හොඳටෝම
පරක්කු වෙලා..
ඔයාව මගෙ
කේන්තියටම​
ගහගෙන ගිහින්....

මං ඔයාගෙම​
සුනාමි

                                                         
                                                                                                                                                               

Monday, October 31, 2016

නෂ්ටාවශේෂ​

ජීවිතේ පුරා
මිනිස්සු ඇහිඳපු
මතක පොත් වල
හැම පිටුවම ;
ඉස්පිලි
පාපිලි
කොමාවන් ගෙන්
අපූරුවට
හැඩ වෙලා...

ඒත්
ඉවසීමෙන්
සංයමයෙන්
බලද්දී පෙරලලා 
අන්තිමට​
ඒ හැම මතකයෙම​
පුදුමය කිච වෙලා
විස්මයාර්ථය​
ඉතුරු වෙලා...

                         

Wednesday, October 26, 2016

වැව The බුවා

පෙර දිනේ
වැව්  දියේ
නෙළුම් පොට්ටු
පිපෙනකන් රැක ඉඳන්..
පිපුණු නෙළුම් මල්
උදුරගෙන ගිය හැටි
Pool වල​
දිය ජබුං ගසන උන්.

ගිය උන්ම ;
අද ඇවිත්
විරිත්තා වැව 
දෙස බලන්...
සිනාසී ඔලොක්කුවට
බලියාන උන්ගෙ කට​
දමයි කෝචොක්
"මේක නම් මහ මඩ වලක්" 

දිය ජබුං ගසමින්
Pool වල නෑවාට​,
වැවේ පිපි ඒ නෙළුම්
උදුරාන ඩැහැගෙන ගියාට,

නෙළුම පිපුණෙ හැමදාම
මඩ ජලය මත මිසක
Pool වල නොවන වග​​
උන් නොදනි එක් බිඳුවක්
ඒ නිසයි මෙතරම් බිරුමක්....

වැව දනී එය මැනවින්
එනිසයි නිහඬ තවමත්......


Sunday, October 23, 2016

අකලට පිපි මල​





හිත කැකෑරෙන ස්නේහයත් ,
ගත රිදුම් දෙන රුහිරයත් ,
උහුලාගෙන මහා ගොන්නක්....

දෛවයේ සරදමට​
නැහැවෙමින් කඳුලින්
පණ ඇදපු
නැවුම් අරුමැති
අරලිය අත්තක් ;

ප්‍රසූත කළා
කාටත් රහසින්
මියෙන්නට මත්තෙන්
ඉවසිලිවන්ත පැතුමින්
අසම්මතයේ
සොඳුරු හුරු බුහුටි
මල් කිනිත්තක්.......

Thursday, October 20, 2016

මකනයක කව

ඔබ ලියූ ඒ
සන්තාපයේ අකුරු පෙළ
මකා දැමුවා මං
දිරිදෙමින් ඔබ හට​
ලියන්නට අලුතින්
ඔබගේම තෙලිතුඩෙන්
ස්නේහයේ පද වැල ...

ලියා අවසන කළුව
ක්‍ෂය ව ගෙවී
පැත්තකට විසිව යන​
මකන කැබැල්ලක් වුව මා
කැපවුනේ වැයවුනේ
ඔබ නමින් වන නිසා
නැත කිසි දිනක දුක මට​....

Thursday, September 29, 2016

දේවකාරිය

කීරි ගැහෙන හීතලේ
ඔයාවත් තුරුල් කරන්
උණුහුම් වෙන්න
මං ආසයි...

මේ හිරිකඩ වැස්සෙ
ගුලි වෙලා කිටිකිටියට​
හීන දකින්න​ත්
මං ආසයි...

ඒ ආසාවල්
මලවන් කන්නද​?
!@#*#$$^&*@!

සිකියුරිටි 
නිසා මං
බම්බුව​ !
අදත් රෑ
ඩියුටි.....

So
හිත සැහැල්ලුවෙන්
මේ රැය ගෙවන්න
හැමදේටම වඩා
මං ආසයි...

ඒ හන්දා
මගෙ 
අමල්බිසවුනි ,

keep
the door
closed and
පරිස්සමින් ඉඳපන්...


                             

Thursday, September 22, 2016

රැවටීම​



සොඳුර !

මා ප්‍රිය මැස්සිය !​
එන්න​..
අවුදින්
පැටලෙන්න​...

මේ
මා ස්නේහය
කැටිකොට​,
ආදරය
මුසු කොට,​
පාරිශුද්ධ
ඔබ වෙනුවෙන්ම
වියන ලද්දාවූ
ප්‍රේමයේ
උත්තුංග
මායා දැලයි...

ඒ නිසාවෙන්
එන්න​....

Tuesday, September 13, 2016

පැන්සල් කොටේ

අනිත් එවුන්ව​
උගතුන් කරන්න
කඹුරලා කඹුරලා
ගෙවිච්ච මට​
අන්තිමේදී
ඉතුරු උනේ

උන් මහත්තුරු වෙන්න​
තටමපු තැටමිල්ලෙදි
ඇඟිලි අස්සෙ
හිර කොරගෙන​
විකපු මගේ
පස්ස ගාතෙ
ශේෂ උනු
දත් පාරවල් විතරයි...


Monday, September 12, 2016

මට්ටුව​

කියාගන්න බැරි
ගොඩක් දේවල්
මලු බැඳන්
ඉන්න හැටි
මගෙ හිත​...

ඒ එක එක​
ලිහා බලන්න​
අත තිබ්බත්
පපුවට​...

හැමදාම දැණුනු
ලබ්ඩබ් හ​ඬ
විතරමයි
ඇහෙන්නේ....
දැනෙන්නේ.....

මේක නම්
වෙන්න බෑ.....
විශ්වාසත් නෑ...

හිටු ටිකක් මං
රැගෙන එමි
හොඳ කැපෙන පිහියක්...

රැගෙන විත්
හද​ පලමි
සැක දුරු කරනු වස්...

හිත !
ඔන්න උඹ මාට්ටු
එතකොට මම​??
                               

Thursday, September 1, 2016

තමන්ගෙ මැට්ටම්



කවුරු කොහොම කිව්වත්
උඹ හිනාවෙන දේටම​
මටත් හිනා යන නිසා ,
උඹ අඬන කොට​
මටත් ඇඬෙන නිසා,
උඹෙයි මගෙයි වෙනසක්
මට දැනිලත් නෑ....
මම දන්නෙත් නෑ...
කොටින්ම කිව්වොත්
අදාළම නෑ.....                                                                                                                                                                                            

Monday, August 29, 2016

ඒකෙත් හැටි


පාළුම පාළු කතරක​
විඩාබරව​
දිය බිඳකුදු නැතිව​
ඔහු ගමනේ ය​...

එවිට පෑයු
ගණදුරු
මේඝ වලාව​
අන් කිසිවෙකු නොව​;
නුඹ ය​...

ගුගුරුවා අහස​
වැසි වස්වන බව​
හුදෙක් මවා පෑවේ
රැවටුවේ
අන් කිසිවෙකු නොව​;
නුඹම ය​...

පිපාසයෙන්
පණ අදින ඔහු
නොතකා , නපුරුව​
දිය පොදක් නොදී
අකුණු ගසමින්
මැකී ගියෙත්
අන් කිසිවෙකු නොව​;
නුඹම යි...

එහෙව් නුඹවම​
ඔහූ පැතූ අරුමය​
පුදුමයි..!                      

Tuesday, August 23, 2016

එන්නෙ නෑමයි

හිරු නොමැතිව​
මලක් නොපිපේ
ලොවම දන්නා
සත්‍යයකි එය​..

එසේ වූවත්
සුළං රැල්ලක්
ඇවිදින් ඇහුවොත්
"එනවද යන්න​?"

ලොවේ සුපිපුණ​
මල් දරන්නේ
නොයෙක් විදිහේ
අදහස් ය​...

බොහෝ මල්
කියන්නාහු ය​
"යමු යමු..අනේ යමු"

ඒ අතරිනුත්
එක් මලක් හෝ
වෙයි මෙසේ
පිළිතුරු දරන​..

"හිරුට පිටුපාන​
කිසිදු ගමනකට​
එන්නෙ නෑ මං
එන්නෙ නෑමයි"
                      

Friday, August 12, 2016

ටටා Bye



පෙර දවසක
උදෑසනක
පිණි ඉහිච්ච
සුවද පිරුණු

සුදුම සුදු
පුංචි මලක්
නෙලාගෙන මා
සක්මන් කළත්
පුද භූමියට....

මටත් නොදැනිම
හොරින් රහසින්ම
නොකියා නොදන්වාම​
ඩැහැගෙන ගොහින්
මගේ සුදු මල​
පුද බිමට ආ
තවත් එක් උපාසකයෙක්....

ඔහු නෙලා ගත් ලෙසට
මගෙ පුංචි සුදු මල
ඔහුගේ අත මතින්
සතපවන්නේ ය ඔහු
මල් අස්න මත
නංවමින් හඬ
සාධු සාධු සාධු......

නෙලුවාට මම මල
පුද දෙන්නා ඔහු විය​
කුසලයත් ඔහු නමටම විය​..
පුද දුන්නාට පසුව
අත ගස්වා ගෙන
අනුමෝදනයට
මසිත ඉඩ නොදේ..
සමාවන්න !!!
පෘථග්ජන සිත් ඇත්තෙමි..
එබැවින් ,
පන්සල් බිම අතැර යමි...





Thursday, July 28, 2016

Prince බක බක​



අනේ අපරාදේ
ඇයි දුන්නෙ
ආදරය පිරි
ලොකුම ලොකු හාදුවක්
කැතම කැත ගෙම්බෙක්ට?


රජ කුමාරයෙක්
වෙයි කියා හිතලයි
දුන්නෙ මම ඒ
ආලවන්ත හාදුව
සෙවල තඩි ගෙම්බාට.....

අනේ ගොම් වැස්සියේ
දුන්නාට හාදු
හැම ගෙම්බෙක් ම
වේවිද කුමාරයෙක්?

තොපිලා උම්බෑ
කියන තරමට
බක බක ගාන්නත්
ඉන්නට එපැයි
කස්ටියක්.........

Monday, July 25, 2016

කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා



කලි යුගය නම්
මෙයම වෙන්ටැ
අනුන් ගේ රෙදි
තමන් ගේ වැලෙහි වනන...


බුකියේ වැල් පුරාවට
දකින්නට බලන්නට
නොයෙක් පන්නයේ
විසූක දස්සන...

බුකිය මත
හොටු ලාටු උලමින්
හඬමින් වැලපෙමින්
පස්ට වීමට
ලයික් වැසි රිසිව.......

හොර සිතින් අරගෙන
අනුන් වෙහෙසව වියූ
නොයෙක් විසිතුරු රෙදි
වනයි උජාරුවෙන්
තමන් ගේ ලෙසට...

ඒ වෙනුවට
රටාවක් හොයන්
කලාවක් හොයන්
වියුවා නම්
තමන් ගේම කියා
රෙද්දක් හිතට එන
මරේ මරු
හොරා කනවාට වඩා
අනුන් ගේ රෙදි....

කුකවියෝ
වසති බුකියේ
නොයෙක් විසිතුරු
රෙදි වනමින්
අනුන් ගේ වුව කම් නැත
තමා ගේ වැල යයි සිතමින්...

හරිම ලස්සනයි බන්
උඹලා තමන් ගේ කියා
අලවාගෙන ලේබල්
වැනූ උඹලගෙ
වැල්වල තියෙන
සුදු රෙදි වලින්
බේ(රෙනවා) පින් පාට...


Sunday, July 3, 2016

පුස් නොවී Posh..

 
Posh වෙන්න​ මං සොයා
වන්නේ නැතුව පුස්
සිතුවිල්ලේ සියුම්කම හඳුනා
වන්න සිතුවිල්ලෙන් Posh....

තෙලුත් තිරයත් ඇති කල
දැ‍ල්වෙන පහන්සිල සේ
ළෙලෙන සිත මනරම් නම්
ලැබේවි පහන් ආලෝකයක්
ලොවක් කළඑළි කළ හැකි....

සුළගින් නොනිවෙන්නට​
ප්‍රබල විය යුතුය දැල්ල​
දැන් දැන් සුළග තදයි....
නොනිවී දැල්වෙන්නට​
සවිමත් ද තිරය​?
සෑහේ ද තෙල්?

නිවෙන්නට පෙර අඳුරට​
ආලෝකයක් දෙන්නට​
හැකිවේද ? නොහැකිද​?
Posh වෙන්න​
සිතිවිල්ලෙන්......    
        

Wednesday, June 22, 2016

සූකර​ රඟ

සරන්නේ  උන්
නැහැ පුඩු උස්ස උස්සා
නොඉවසිල්ලෙන්
සොයමින්, ඉව කරමින්...
තලු මරමින්
රස කරමින්
බුදින්නට
අනුන්ගේ කුණු.... ​
අනේද කියන්නෙ...                      feeling sarcastic 😜 



Monday, June 13, 2016

කාලය​, මේ උඹේ කාලය​....

දිරාගිය සිරුරක​
වියපත් නොවූ ස්නේහයක් ,
අපරිමිත අසීමාන්තික ස්නේහයක් ,
තවම ඇත ශේෂව​.....

ගිලී ගිය දෙනෙත් තුල​
දිලී බැබළෙන ස්නේහයක් ,
තාරකා පරයා දිලෙන ස්නේහයක් ,
තවම ඇත ; එපරිද්දෙන්ම ශේෂව​....

"එම්බල කාලය​!"
ද්‍රෝහි වුනේ උඹ මට කෝම​?
කිව්වේම හැමෝම​
ඉඩදෙන්න උඹට​...
විශ්වාස කරපු ගොනා මං
ඉඩදී හිටියේ ඔහේ ඇන තියන් ,
මාන්නෙත් කර තියන්.....

පැවසුවේම ඒ අය​
විසඳාවි කියා උඹ ප්‍රශ්න​...
විශ්වාස කරපු ගොනා මං
බලාන හිටියේ මේවා විසඳෙනකන් ,
උඹ ගානට විසඳනකන්.....

ගිවිසගත්තු විදිහටම​
විසඳුවානම් උඹ ප්‍රශ්න​
ඇයි අදටත් අරවා අරම ශේෂව​???
"ද්‍රෝහියෝ!!!"
මං ගෙව්වා හොඳටෝම​ ඇති ,
දැන් උඹ ගෙවහන්
උම්බෑ  උම්බෑ  උම්බෑ.....      
                                                                                    

Friday, May 27, 2016

කෝ කෝ කොහෙද​???

පැණි පෙරන මීමැස්සන්ද ,
පෙති තලන බඹර​ සේනාද අතර ,
යම් සෙනෙහෙබර​ ඇසුරක් සොයන
ආදරය පමනක් සුවඳ අල්ලන
අවිහිංසක කුහුඹුවෙකු
සිටිය නොහැකිද තනි වූ
මිහිමත විශ්වයේ
කොහේ හෝ තැනක යම්......
                                                                                                                                                                                




ආදරයට කොන්දේසි නෑ...." මෙහෙම උනොත් මම ආදරෙයි , අරම උනොත් මම ආදරෙයි " කියල කියන්න බෑ...ආදරය හුස්මක් වගේ..ඔව්..ඇත්තටම හුස්මක් වගේ....ඒ දෙය අපිව ජීවත් කරවනවා.....ආදරය දැනෙන දෙයක්...ආදරය දැණුනාම ආදරය වෙනවා....එහෙම තමා ආදරේ....එහෙම දැනෙන , හැගෙන තැන තමා ආදරේ තියෙන්නෙ..පවතින්නෙ...මට හිතෙන විදිහට​ there is where the love is.....
                                                                                                                                                                            

Sunday, May 8, 2016

කැකුළිගෙ පොජ්ජ​ 36+

ඔන්න ඉතින් ඉඳල ඉඳල මටත් හිතුනා 18+ කතාවක් කියන්න​...අවුලක් නෑනෙ...මටත් 18යි බොල තව ටික දොහකින්..ඔන්න ඒ නිසා ආවඩා ආයුබෝ කියලා දිග අරිනවා 18+ කතාවක්....සමහර විට ඉතින් කියවද්දි හිතෙන්න පුළුවන් අඩේ මේක​ 36+ ද මන්ද කියල​..හැක්..ඒක ඉතින් බොලාලම තීරණය කොරහල්ලා.. දවසක් කැලේ දඩයමේ ගිය මිනිහෙකුට ආපහු ගෙදර එන ගමනෙදි පාර වැරදුණා ලු.. පාර හොයා ගන්න බැරිව ඉතින් ඒ පැත්තට මේ පැත්තට ගාට ගාට හිටපු මේ මිනිහට කැලේ දරට යන ගමන් හිටපු ලස්සන වැදි ගෝමරියෙක් මුලිච්චි උනාලු....




කෙලීගෙ ලස්සනට හඳුන් පොජ්ජ කීං ගෑවත් කැලෙන් එළියට යන එක මිනිහගෙ ලොකුම උවමනාව උනා.....ඔන්න ඉතින් වැදි කෙලීව බය කරවලා හරි පාර අහගන්න හිතපු මේ මිනිහා , ඒ කැකුලිට තුවක්කුව දික් කොරලා "අඩෝ කැකුළි, මට මේ කැලෙන් එළියට යන පාර කියාපිය හොඳ හිතින්....නැත්නම් තෝව දූෂණය කොරලයි පස්ස බලන්නෙ" කියලා part එකක් දැම්මා...




ඇඹරි ඇඹරි හිටපු මේ කෙලී අන්තිමේදි තටමලා තටමලා මෙහෙම උත්තර දුන්න .."පාර කියන්නෙම නෑ.."                                                                                                                                                                                                                                                                                                                                             දැන් ඉතින් ඔන්න බඩු බනිස් ලු...කොහෙත්ම හිතපු නැති දෙයක් ලු වැදි නංගියා කිව්වෙ...මිනිහට ගියෙ මාරම චූන් එකක්ලු....නංගි පාර කිව්වෙම නෑනෙ....කොහොමෙන් කොහොමෙන් හරි ඉතින් මේ දඩයක්කාරයත් තක්බීර් උනාලු මේ කැකුලිගෙ කතාවට​...ඊළගට තමයි story එකේ හොඳම හරිය​... එක පා....රටම දඩයක්කාරයාට තිබ්බ ජොලියට​ අර දමිත් අසංකගෙ සිංදු කෑල්ලක් කියවුනා ලු..."පායන සඳේ සීතල රැයේ , පෝය වගේ හිනැහෙන්නේ....දින් තන නන දින් තන නන දින්ත නනා නා...හෝ හෝ හෝ හෝ හෝ යා...."                                                                                                                                         ඊට පස්සෙ ඉතින් මොනවා වෙන්න ඇද්ද නෙහ්?මෙතනින් එහාට කතාව ලොකුම​ ළමයින්ට විතරයි හොඳේ......36+...(හික්z..කොහොමත් නාකි මිනිස්සු නිසා ඉතින් අවුලකුත් නෑ.).හැබැයි කියවල අනං මනං talks දෙන්න නම් එපා පොඩි කමට ජරා කතා ලියනවා කියලා...ඔන්න එහෙනම් එක උනේ මෙන්න මෙහෙමයි...... සිංදුව කියාගෙන හෙමින් හෙමින් දඩයක්කාරයා කෙලි පැටික්කි ලගට ගෑටුවලු..ඔන්න ඉතින් ගෑවෙන්න නොගෑවෙන්නම ලගටම ගියාලු...ඊට පස්සේ වුනු ටික කියන්නයි මේ යන්නෙ...ඔන්න ඊට කලින් ආයෙත් මං මෙහෙම කියන්නම්.....මේ ටික අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඕං.....හා හා මෙන්න අහගන්නකො...                                                                                                                                                                                                                                                                                                                                            ඔන්න ඉතින් දඩයක්කාරයා එයාගෙ හුස්ම අර වැදි පැටික්කිට දැනෙන තරම් ලං වෙලා මෙන්න මෙහෙම බඹරෙක් වගේ මුමුණනවලු..වැදී කෙලී රතූ....වෙලාලු...ලැජ්ජවට එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ගස්ස ගස්ස පද්ද පද්ද ඉන්නවලු.මිනිහටත් දැන් ඉතින් මේක තවත් හිර කරන් ඉන්නම බැරිලු..අහන්නම ඕනලු (හික්z...feelings control කර ගෙන ඊළග ටික කියෙව්වනම් ඇගට ගුණයි ආ...ආයෙ නොකීවැයි කියන්න එපා..හරිය​?)                                                                                                                                                                                                                                                                                                                                                   "නංගි, මං මෙහෙම ඇහුවට ඔයා මුකුත් හිතන්න එපා....මට මේක හංගගෙන ඉන්න තවත් හිත දෙන්නෙ නෑ..අපි මොකටද නිකන් අපේ හිතේ තියෙන දේවල් හංග ගෙන ඉන්නෙ නෙහ්?මෙහෙමයි නංගි...අනේ වැරදියට නම් හිතන්න එපා....මගේ හිතේ මේක තවත් හිර කරගෙන ඉන්න මට බෑ....මට තේරෙන්නෙ නෑ ඔයාගෙන් මේක කොහොම අහන්නද කියලා...ඒත් මේ අවස්ථාව මග හැරුනොත් අපරාදේ....මම කැමතියි ඒ නිසා මේ දේ අහන්න​...ඔයා කොහොම මං ගැන හිතාවිද දන්නෙ නෑ...ඒත් මම කොල්ලෙක් නෙහ් නංගියා...ඉතින් ටිකක් තේරුම් ගන්න​...මගෙ කොලු කමට මං මෙහෙම අහනවා කියල හිතන්නකො...ඔන්න ඉතින් මටත් මොකක්ද මොකක්ද වගේ ...ඒත් තවත් නම් ඉවසන්න බෑ...අනේ නංගියෝ...බෑ කියන්න නම් එපා....මේ අහන්නකො...මං හරි ආසයි ඔයාගෙ එක දේකට​...ලැජ්ජ වෙන්නෙ නෑ මං මේක අහන්න ඔයාගෙන්....මං හිතනවා ඔයා මාව තේරුම් ගනීවි කියලා....නංගියා...ඒ දේ ට මං වශී වෙලා ඉන්නෙ...මං තව ඕවා දැකල තියෙනවා...ඒත් හිත ඇදිල ගියෙ ඔයාගෙ එකට විතරයි....මට කියන්නකො....ඔයා ගෙ ඒ දේ ලස්සන වෙන්න රහස මොකක්ද නංගියා....අනේ...මට රහසින් ලංවෙලා කියන්න​...ඔයාගෙ ලස්සනම ලස්සනම ලස්සන ලස්සනම ලස්සන දේ ගැන​......මට තවත් නම් මේක අහන්නෙ නැතිව ඉන්න බෑ නංගියා....ඔයා මට පාර නොකිව්වත් කමක් නෑ...කරුණාකරලා මට මේ දේ විතරක් කියන්නකො  ලං වෙලා...ඔයාගෙ ඔය සුදුම සුදු , දැක්කම හිත ගැස්සිලා යන , ලස්සන කිරි පාටට තියෙන​..ඔය දත් සෙට් එක ඔයා මදින්නෙ පොල් මුඩ්ඩකින් ද​????" හැක්...උඹලටත් ලැජ්ජ නෑ නෙ ගොයියො..දොඩම් ගෙඩි 2ක් තරම් වත් උස නෑ....පල පල​..තව ලොකු වෙලා වර​..ආවා මෙතන 18+ කියවලා ආතල් ගන්න​​..ගිහින් වැඩක් බලා ගනිල්ලා බන්...මං මේ කියන්න දෙයක් නැතිවට කිව්වේ..මං දන්න 18+ එකක් නෑ බොල​....ඔන්න​ කියවන්න මොනවමහරි දෙයක් ලියලත් අනං මනං දාර්ශනික talks  දීගෙන ආවොත් ඉතින් කොටනවා දෙබෑ වෙන්න​...හික්z....ඔරව ඔරව යන්න එපා ඉතින්...මොනවමහරි ලිව්වනෙ ඔය පොජ්ජවල් කීං ගාන්න. හැක්

Wednesday, April 20, 2016

attack එකටම​ ලියපුවා..හැක්


නරියා මං*

සඳවතිය මොනවදෝ කියනවා
ආයෙ ලගට එන්න වගේ
අහස ලහි ලහියේ
වළාකුළු ආවරණ රැස් කරනවා
අයේ හිටපු තැනටම යන්න වගේ
.......බොරුව​.......
දෙන්නගෙම බොරුව....
ආයේ මම ගනන් ගනී කියල තමයි බය...
එව්ව ඉතින් හඳේම තමා !!!
හුක්කි හුක්කි හූ.................


අම්ල වැස්ස

ආසයි වස්සානයට තෙමෙන්න..
වැටෙද්දි වැහි වතුර...
ඒත් ඒක​ අම්ල වැස්සක් උනොත් ..
තුවාල වේවි මුලු ඇගම
මගුලෙ තෙමෙන්නෙ ගිහිං
ඒ නිසා ඕන නෑ...                                                                      

Sunday, April 10, 2016

friendship පොජ්ජ

හ්ම්ම් හ්ම්ම්...බකමූණෙක්...හික්.....කලකට පස්සේ වෙලකට බැස්සෙ වගේ හැගීමක් දැනෙනව ඔන්න මට​....ඔන්න get ready වෙන්න ළමායි.....සූට්ටක් විතර කච බච ගාන්නයි මං ලෑස්ති වෙන්නෙ....පුළුවන් නම් අහන් ඉන්න​....බැරි නම් ඒත් අහන් ඉන්න​..හික්z....කියන්න තරම් දෙයකුත් නෑ ඉතින්...ඒත් මොනවහරි කිව්වෙ නැත්නම් කෑවෙ නෑ වගේ..යාළුකම ගැන කියන්න හිතෙනවා දැන් මට ඔන්න​..මෙහෙමයි....දැන් කාලේ බෙහෙතකටවත් හොයාගන්න බැරි කස්ටියක් තමයි හොඳ යාළුවෝ කියන්නෙ...හොඳ මිතුදමක් fit එකේ අරන් යන්න luck එක තියෙන්නෙ කීයෙන් කී දෙනාටද​....good friendship එකක් කරගෙන යනවා කියන්නෙ මට හිතෙන විදිහට තමන්ගෙ ඇගේම පිප්පි කර ගන්නව වගේ වැඩක් ...මොකද කිව්වොත් හැමෝටම වගේ ඒ දේ දකින්න පුළුවන්..ඒත් ඒ උණුසුම් හැගීම විඳින්න පුළුවන් වෙන්නෙ ඇගේ පිප්පි කර ගත්ත කෙනාටම තමයි..(එහෙම උනා කියල දැන් ඇගේ පිප්පි කොර ගන්න එපා හොඳේ...හික්z)                                                                                                                                                                                                      යාළුකම කියන දේ විඳින්නම ඕනේ ඒ හැගීම දැනෙන්න​....හොඳ යාළුකමක් feel වෙන්නෙ කොහොමද කියන එක යාළුවො දෙන්නෙක් දිහා බලන් හිටියා කියල තේරුම් ගන්න බෑ...ඒක එක හිතින් විඳලම බලන්න ඕන දෙයක්... ඔයගොල්ලො දුක් වෙන වෙලාවට ඔය ගොල්ලොන්ගෙ කඳුළු පිහිදාන අය ඉන්නවනම් ඒ අය තමයි යාළුවෝ කියන්නෙ....ඔයාගෙ දුකට හේතු වුනු , ඔයාව රිද්දපු අයට නෙලන්න සවලක් අතින් අරන් ready වෙලා ඉන්න අය ඉන්නවනම් ඒ තමයි හොඳම යාළුවෝ...(ආ....දැන් තේරීගෙන එනවා නෙහ්? හික්... ඒ මට හිතෙන හැටි හොඳේ ) තමන්ගෙ life එකට හැමදාම හරි අයව ලං කරගන්න​......අපිට ඕනේ කව්ද කොහොම අයද කියල හොඳට හිතල තීරණය කරන්න​....මතක තියාගන්න​..වැඩි දෙනෙක්ට ඕනේ ඔයාල එක්ක Pajaro එකේ Limo එකේ නැගල යන්න​....ලං කර ගන්න කොට Pajaro , Limo break down උනාම ඔයා එක්ක bus එකේ එකට වාඩි වෙලා යන්න ඔට්ටු අයව ලං කරගන්න​...එතකොට වරදින ප්‍රමාණය අඩුයි.....උපදේශන සේවයක් වගේ උනා නම් සොරි වෙන්ට ඕනෑ...හික්z....(දිග වැඩි වේගෙන එන නිසා මට බැන බැන කියවනව ඇති නෙහ්??) හා හා...හරි හරි...ඔන්න මං වහගත්තා මගේ කට​...tataaaaa        


Plzzz මචෝ !

රළු පොළොවේ
ගල් ඇණි ඇණී දුවද්දී
පයේ නැති
මෘදු පොළොවේ ඇවිදිද්දී
පිහිටට එන
බාටාවක් නම් උඹ​
අනේ plzzz
ගැලවිලාම පල​..........

Friday, March 18, 2016

සාස්තරකාරී

රතට රතයේ තියාගෙන
පොල් සයිස් පොට්ටුවක්.....
සුවඳේ බෑ ගැටපිච්ච මල් වැල
ඉහේ රඳවා සිටින​.....

පටලවාගෙන 
සාරියක් ඔහේ 
දේවාල දොරින් 
මුරුගන් වඳිමින් 
එලි බසින 
මලයාලම් රුවැත්තියේ...... 

අල්ලේ ඉරි මත  
තබමින් ලෝකය 
නටවමින් 
අංජන තැවරූ 
දෙනෙත් පොඩි....                                    
නුඹ, 
වාසනාව 
කියාලා දෙන අපූරුව​...... 

"එන්න නෝනා මාත්තියා 
ආමු සාත්තරයක්" 
 හඬගාන 
අපූරුව නුඹ​...... 

අතට ලැබෙන්නේ 
තුට්ටුවක් වුව 
 දහස් වාරයක් 
පිං දෙයි නුඹ 
ගරු කටයුතු 
ඇත්තියක් ලෙස.... 

බිංදුවක් 
නොයා නපුරට 
ගින්දරක් සේ 
ඇදෙමින් ......
සතුව ඇති 
වාසනා ගුණයෙන් 
කියයි නුඹ 
සාස්තර...... 

කප්පරක් දෙවි 
ආනුභාවෙන් 
ජාත වූ නිසාම 
වෙන්ටැ ඇත්තේ 
නුඹට මේ වරම් 
කියන්නට සාස්තර​....... 

"සාස්තරකාරි සාස්තරකාරි !!" 
කිව්වට හැමෝම 
තැන තැන  
අමුතු අමුතු විදිහට 
එක වගේ විකාර 
ගැහැනු මොඩල් අතරේ 
නුඹ මට 
අරුම ගැහැනියක්......
                                                        
                     

Thursday, March 3, 2016

එතකොට එදාට​?

තියෙනවා මට 
ලොකුම ලොකු
ලොකූ......ම ලොකු
ඉල්ලුමක්.........
වටිනවා මම​
ගොඩම ගොඩම
ගොඩ.......ම ගොඩාක්......


කාලෙකට කස්ටිය
දෙනවලු ෆුල් ගේමක්
හොයාගන්න
මං වගේ කෙනෙක්.......


ඒකට හේතුව​???
රාහු.................


රාහුට පිංසිද්ධ වෙන්නලු
වටින්නේ මාව​
ෂුවර්මත් නෑ........
ඒත් කියනවා ඇහෙනවා
එහෙම හැමෝම​
විශ්වාස කරනවා
මාත් ඉතින්
ඒ අය මලසුනේ
මටත් ඉඩ දෙන නිසා.........


බැලුවම හරිනෙ කතාව​
නෙළුම් වගේ නෙවෙයිනෙ
අපල දුරු කරනවනෙ මං
බැලුවෙ මම කවුරු කියලද​?
කියන්නත් බැරිවුණා
මම වැටකෙයියා මල​.........

දැනට නම් වටිනවා
"ඉස්සරහටත් එහෙම වෙයි"
කියල හිතනවා
ඒත්
රාහු නැතිවුන දවසට​?
එතකොට එදාට​???


නිවාඩු පාඩුවේ
පරවෙන්න කලින්
කොහොමහරි
හිතල කියන්නම්
බැරිම උනොත්
ගොතල හරි කියන්නම්

ඒක එදාටනේ.......

Wednesday, February 24, 2016

අවසන් ඉල්ලීම​

මලේ......මලේ......
ඉවසනවද
ඩිංගිත්තක්
සමනළයෙක්
වෙනකං මං......
තාමත් දළඹුවෙක් නිසා
කල් යයි ටිකක්
සමනළයෙක් වෙන්නට
මට...........


ඒත් ඉතින්
සමනළයෙකුගෙ ප්‍රේමය
ඉවසන්නෙ
කොහොමෙයි නේ?
රොන් බොනකොට ඌ
හැම මලකින්ම
රොන් බිව්වොත්?

මලේ.....මලේ.....
තටු සිඳුණු දවසට
සමනළයාට
පියාඹන්න බෑ
තව තවත්
දුර ඉතින්....


ඉතින් එදාටවත්
නැති වෙන්න යන
මගෙ පණ කෙන්දට
නිදහසේ සැහැල්ලුවේ
මටත් නොදැනිම
යන්න දෙන්න​
නිකමට....
උදව්වට​.....
නෑ.....
හිතවත් කමට වගේ.....
නෑ නෑ ආදරේට
ඔව් ආදරේට​......

පිපෙනවා නේද
ඒ දවසට
එකම එක
මොහොතකට හරි
මේ හිත්පිත් නැති
සමනළයා නමින්
බෑ නොකියා මගෙ
මලේ නුඹ​?

                                                                                  

Tuesday, February 16, 2016

අසාධාරණයි ඕයි !

හෙමින් හෙමින්
මහන්සියෙන්
හැදුවා මම
මාලිගයක්......
ඒකත් හැදුවෙ
අහසෙ....
කාටවත් නොවී ඉන්න
ඇණයක්...
මල වදයක්.....


කොරන්ට යමක්
නැති නිසා වෙන්ටැ
රිංගුවේ මගෙ
අහස් මාලිගාවට
බෝංචි වැල දිගේ..........


රිංගුවා මදිවට
මලු බැඳන් මගෙ
රත්තරං කාසි ......
කුදලගෙන මගෙ
කප්පරක් වටින
රත්තරං බිජු
දෙන කිකිළි ....


දෙන්නට හිතට
පොඩි සොමියක්
නිවන්නට මගෙ
ගතේ වෙහෙසත්
බාරියක් නැති මට
ලගින් රැදි
වීණා පොජ්ජත්
ඩැහැගෙන
පැන ගිය පල් හොරා

ජැක් !!!



ඔක්කොමත් හරි
වීරයා උනා උඹ
යෝධයා වුණු
මා මරා දැමු පසු...

අසාධාරණයි ඕයි !                                                        

Monday, February 8, 2016

කවි පැටික්කියො

සුන්දර 
සවස් යාමයක
දත කට දෙක 
මැදගෙන ;
සැදී පැහැදී පේවී 
ඔප මට්ටම් කළ 
මේසයක 
අලුත්ම 
පෑන් පොඩ්ඩකින් 
වටිනා කඩදාසියකට 
බලෙන්ම වගේ 
ඔබ්බවන 
මහා කවි 
සොඳුරු නැත 


කලබල මැද්දේ 
සෙනග පිරි 
බස් කට්ටේ 
තෙරපි තෙරපී 
ඉන්න අස්සේ 


එක සැරේ 
සැරේට 
මොළ ගෙඩියට වැදි 
සිතුවිලි කළඹන 
හෙණ ගෙඩියක් නිසා 
හමගිය 
බස් ටිකටය 
තුරුල්ලට 
හොරෙන්ම 
දගකාර කමට 
ගොඩවෙන 
ඒ සොඳුරු 
කවි පැටික්කියො තරම්........                               

Friday, February 5, 2016

ටොක්ක​

පාට කරගෙන
තොල් රතු
දසඅත
නයන කැල්මන්
බෙදමින්....                                                

තතන තතනා
පූස් ගමනින්
 නතු කර ගනිමින්
සලෙලු සිත්.....                                                  

පද්ද පද්දා
ලැම
ගස්ස ගස්සා
ඉඟ....                                                                
මා අසලින්
ලතා පාමින්
ඇදුන
මන බඳනා
රුසිරු ලියේ,                                                          

මූණට
මුලිච්චි වූ නිසා
නිකන් තියෙන
හිනාවෙන්
ඩිංගක්
දුන්නමත්
උඬගු මානෙත්
හිස තියාගෙන
ගස්සා ගිය
නුඹ ;
කොමළ ලඳුනක
වුවද උනුනට
කැතම කැත
වැඳිරියක් දැන් මට.......​                                      

Wednesday, February 3, 2016

බෙදාගෙන කමු

කුණු බාල්දි
පෙරලන
දරු පැටවු ගැන
අහස් මාලිගා
දන්නේ මොනවද?

දිරුණු වහල
අතු සෙවිලි
කරන්නට
දහඩිය
වගුරන
දුගියන් ගැන​
luxury මන්දිර
ටයිල් කරගත්
යතිවරු
දන්නේ මොනවද​?

මුෂ්ටිය
පසෙකලා
ශිල්පයක්
හරිහැටි දෙන
දිසාපාමොක්ලා
ඉන්නවද?
අහුලන්නවත්
එක දෙක​..

මොකද කියන්නෙ ,
මහන්සි
යන්නත් එක්ක
බෙදාගෙන
කමුද අපි
නියගලා අලයක්?                                                                                    

Monday, February 1, 2016

නිරහංකාර සමනලුන්

ලස්සන සමනල්ලු
අහංකාරයි කිව්වට
එහෙමමත් නෑ
උනුත් කළගුණ දන්නවා....


වරක් හෝ
මකරන්ද පුද දුන්
පරව ගිය ඇති
මලක සිරුරක්
දුටුවොතින්
නොසිතාම දෙවරක්
පරව ගිය ඒ
මලේ තනියට
හාදුවක් ලග
තියා යන්නට​
ආදරෙන් සිඹ
සමු දෙවන්නට
තුරු ගොමුව තුල
මොහොතකට හරි
නැවතුනා...

උන් නැවතුනා.......

Monday, January 4, 2016

කිරි මුට්ටිය

ඇඟටත් ගුණ දිවට මිහිරි
ඇස පිනවන  කිරි මුට්ටිය  
මුහු වුනොතින්
බිඳුවක් හරි ගොම
ඉවරයි කිරි මුට්ටියම..............
කිරි මුට්ටියේ වටිනකම
නැති වෙන්නේ ඉන් පමණකැ යි සිතුවොත්
මෝඩියකි ඇය
ගොම මුහු නූනාට
මුට්ටිය බිඳුනත්
ඔක්කොම ඉවරයි! 

Sunday, January 3, 2016

සිංහ කේසර

පින් මන්ද රංග භූමිය තුල
සිංහ සීවලී ට පෙම් බැඳි  
ගල් ලෙනද බිඳ ලා
ඇයත් කැටුව ලෙනට සමුදුන්
සිංහ බා.....
ඔබ ඇත්තෙන්ම සිංහයාට බයද???
                                                     

ඔබ සහ මම

මිතුරන් නොවන මිතුදමකින් පැටලී
ගලවාගත නොහී    
සතුරන් නොවූව ද 
අමනාපකමකින් දැවෙන.....
මතක මංපෙත් 
ගොන්නක් තුරුළු කරගෙන
රහසේ සැලෙන
නාඳුනන දෙදෙනෙකු ව ඇත දැන්
ඔබ සහ මම....